එකතු කරන්න
Featured
පාර්ලිමේන්තු මැතිවරණ දිනය අභියෝගයට ලක් කල පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි
#
FYI
19th of May 2020

ජුනි මස 20වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(19) පෙරවරුවේ දෙවන දිනයේත් ආරම්භ වුණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැදවනු ලැබුවේය.

ඒ අනුව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම සම්බන්ධයෙන් ඒ මහතාගේ නීතිඥ විරාන් කොරයා මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.

නීතිඥ විරාන් කොරයා කරුණු දක්වමින් සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක නොඉක්මවන කාලසීමාවක් තුළ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට විධිවිධාන සලසා තිබෙන බවයි.

ඒ අනුව ඉකුත් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් මාර්තු මස 2 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ   අනුව මහ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව ජුනි මස දෙවන දා ට පෙර රැස්කිරීම ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව අත්‍යවශ්‍ය කරුණක් බව ද නීතිඥ කොරයා මහතා පෙන්වා දුන්නේය.

එහෙත් වර්තමානයේ උදාවී ඇති තත්ත්වය මත ජුනි මස 02 වන දා ට පෙර නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පෙන්වා දුන් නීතිඥ විරාන් කොරයා මහතා ඒ අනුව මාර්තු මස 02 වනදා ජනාදිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ප්‍රකාශය අඩංගු ගැසට් නිවේදනය නීතිය ඉදිරියේ බල රහිත වන බව ද සඳහන් කළේය.

එමෙන්ම අප්‍රේල් මස 25 වනදා සහ ජුනි මස 20 වන දා මහමැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනද බල රහිත වන බව නීතිඥවරයා මෙහිදී අවධාරණය කළේය.

මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය අංගයක් වුවත් වර්තමානයේ උදාවී ඇති තත්ත්වය මත නිදහස් සහ සාධාරණ මෙන්ම ආරක්ෂිත මැතිවරණයක් පැවැත්විය නොහැකි බවට සෞඛ්‍ය බලධාරීන් විසින් මත පළකර ඇතැයිද  නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නැගී සිටි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය මෙම පෙත්සම සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දන්වා සිටියාය.

වගඋත්තරකාර ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ද අධිකරණයට දන්වා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් ඉදිරියේ දී මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ජූනි මස විසි වනදා මහා මැතිවරණය පැවැත්වීම හා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදන  අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජනබලවේගය, ‍ මාධ්‍ය වේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 08 ක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම් සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ‍පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පාර්ශව කීපයක් විසින්ද අතරමැදි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.







Do you like this news?